Patient Oriented

විශාදය

මම මේක පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්නම්. මොකද ගොඩ දෙනෙක්ට මම මේක ගැඹුරු විද්‍යාත්මක විදිහට පැහැදිලි කරන්න ගියොත් කම්මැලි වෙන්න පුළුවන් නිසා.

විශාදය, සරලව කිව්වොත් ඩිප්‍රේෂන් කියලා කියන්නේ අධිකව දුක, බලාපොරොත්තු රහිත කම සහ වරදකාරී හැගීමක් විශේෂ හේතුවක් නොමැතිවම කාලයක් තිස්සේ දැනෙන එකට. WHO නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 4ක් පමණ දෙනෙක් මේ කාලයක් තිස්සේ පවතින මානසික අවපීඩන තත්වයට මුහුණ දෙනවා.

ඔබට හෝ ඔබ දන්නා කෙනෙක්ට පහත දැක්වෙන රෝග ලක්ෂණ තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

  • අධික දුක, ස්ව-වටිනාකමක් නොදැනීම, අපේක්ෂා භංගත්වය
  • අධික වරදකාරී හැගීම
  • නින්ද සම්බන්ධ ගැටළු
  • දෛනික දින චර්යාවේ හෝ විනෝදාංශ වල වෙනස්කම්
  • අවධානය පිළිබඳ ගැටළු
  • සිතට විවේක හැගිමක් නොදැනීම
  • කලබල කාරී ගතිය
  • ආහාර රුචියක් නැතිකම
  • දිවි නසා ගැනීමට සිතීම

මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබ කලයුතු වැදගත්ම දේ නම්, විශේෂඥ මනෝ වෛද්‍ය වරයෙකු මුණ ගැසී මයි.

දැන්  මම මේක වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

අපේ මොලයේ තියෙන ස්නායු සෛල එකිනෙක කතා කරගන්න පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය යක් තමයි සෙරටෝනින්( Seratonin) කියලා කියන ස්නායු සම්ප්‍රේක්ෂකය(Neurotransmitter). අපිට සතුටු දායක හැගීම් එන්න අවශ්‍යම දෙයක් තමයි මේ සෙරටෝනින්.

නමුත් විවිධාකාර හේතු මත සමහරුන්ට මේ රසායන ද්‍රව්‍ය ශ්‍රාවය වෙන එක නවතිනවා. එතකොට මොකද වෙන්නේ? මේ යට අර උඩ කියපු දුක්බර රෝග ලක්ෂණ පොඩ්ඩ පොඩ්ඩ එන්න පටන්ගන්නවා.

එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ සෙරටෝනින් ආයෙත් මොලේට දෙන්න ඕනේ. එහෙම නැත්නම් මොලෙන් තියෙන සෙරටෝනින් විනාශ වෙන එක නවත්වන්න ඕනේ.

අපි මේ දෙක කරන එක මගින් පුළුවන් වෙනවා මේ මානසික අවපීඩන තත්ත්ව වල ඉන්න යට සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න ඉඩ සකස් කරලා දෙන්න.

මම මේ දේ කිව්වේ මොකද? මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕනේ වුණා, මෙහෙම ඉන්න කෙනෙක් ට තමන්ට ස්ව උත්සාහයෙන් ගොඩ එන්න ටිකක් අමාරුයි කියලා. ඉතාමත් මුල් අවධියේ තියෙන විශාද තත්ත්වයකට අපිට උපදේශක සහායකින් උදව් කරන්න පුළුවන්. නමුත් ටිකක් වැඩි දියුණු වෙලා ඔඩු දුවපු විශාද තත්වයකට නම් මනෝ වෛද්‍ය සහාය අවශ්‍යමයි.

මේ වගේ අය දිවිනසා ගන්න වැඩි ප්‍රවණතාවයක් දක්වන නිසා එයාලගේ ජිවිතේ ගැන එයාලගේ වටේ ඉන්න එයාලට ආදරේ කරන පවුලේ අයටත් යාලුවන්ටත් නෑදෑ අයටත් වගකීමක් තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ ලංකාව කියන්නේ ලෝකේ වැඩිම දිවිනසාගනීම් ප්‍රමාණයක් වාර්තා වෙන රටක් විදිහටත්.

මේ තත්ත්වයට වයස් බේදයක් නැහැ. පොඩි ළමයින්ට වුනත් මේක හැදෙන්න පුළුවන් නිසා ගුරුවරුන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ සිසුන් ගැන වැඩි අවධානයකින් ඉන්න. හැම පාසලකම මනෝ උපදේශකවරයෙක් ඉඳීම ඉතාමත් වැදගත්.

ඒ නිසා මානසික ගැටළු තියෙන අයව කවදාවත් පහත දාලා සලකන්න එපා. එලියට ලේ ගලන තුවාල නැතිවුනාට එයාලගේ හිතේ ඇතුලේ පැසවන තුවාල තියෙන්න පුළුවන්. ඒ වගේ යට “අයියෝ, ඕක අමතක කරලා දාන්න” කිව්වට එහෙම කරන්න බැහැ. එතකොට එයාලා තවත් කොන් වෙනවා. එහෙම අයට අපි උදව් කරන්න ඕනේ.

අනික තමයි, මනෝ වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන එක කිසිසේත්ම ලජ්ජාවට කාරණයක් නෙවෙයි. උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුනම කායික රෝග වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන එකට වඩා කිසිම වෙනසක් මෙතන නෑ. අනික විෂාදය කියන්නේ කිසිසේත්ම ‘පිස්සු’ කියලා කටවහරට කියන උන්මාද තත්වයකුත් නෙවෙයි.

මේ නිසා, කරුණාකරලා, මෙහෙම ඉන්න අයට කොන් වෙන්න දෙන්න එපා. ඒ වගේම ඔයාලට මෙහෙම ගලටු තියෙනවා නම් හිතේ හිර කරගෙන දුක් විදින්නත් එපා. ඉක්මනින් මනෝ වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන්න.

ලංකාවේ හැම ප්‍රධාන රජයේ ආරෝග්‍යශාලාවකම වගේ විශේෂඥ මනෝ වෛද්‍ය වරයෙක් ඉන්නවා. ඒ වගේම ඔවුන් බොහොමයක් පුද්ගලික රෝහල් වලත් සේවය කරනවා. මේ නිසා කිසිම පැකිලීමකින් තොරව එහෙම තැනකට ගිහින් තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න කියලා විසදුමක් ලබා ගන්න. මනෝ වෛද්‍ය වරුන්ට මේ පිළිබද විශේෂ පුහුණුවක් තියෙන නිසා කවදාවත් ඔයාලා ගැන පූර්ව විනිශ්චයන්ට එන්නේ නෑ. අනික වෛද්‍ය-රෝගී-රහසිගතත්ව රීතිය නිසා ඔබේ ප්‍රශ්න කවදාවත් පිටට යන්නෙත් නැහැ.

මම හිතනවා ඔයාලට මේ ගැන යම්කිසි පැහැදිලි වැටහීමක් ලැබෙන්න ඇති කියලා.

ජය වේවා! සුබ පැතුම්! සතුටින් ඉන්න! J

About Jay

A full time medical student and a part time creativist. Interested in medicine, music, astronomy, languages, literature and the list goes on....! * 'Jay' is the writer's sobriquet. The real name and the university of studying is hidden to avoid patient and medical case privacy if needed in future*

Discussion

No comments yet.

Leave a comment

Instagram

No Instagram images were found.