Patient Oriented

ස්ටේතස්කෝපයක් හෙවත් වෙද නලාවක් යනු කුමක්ද? (What is a Stethoscope?)

රෝගීන් හා අනෙක් පුද්ගලයින් වෛද්‍යවරයෙකු හඳුනාගැනීමේදී භාවිතා කරන ප්‍රධානතම සංකේතයක් වන්නේ ස්ටේතස්කෝපය හෙවත් වෙද නලාවයි. 1816 දී ප්‍රංශ ජාතික වෛද්‍යවරයෙකු වූ රේනේ ලීනෙක් (Rene Laenec) විසින් කාන්තාවන්ගේ ලය පිරික්සීමට නිර්මාණය කල වෙද නලාව, අද වන විට වෛද්‍ය වරුන්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි.

Stethoscope-2

දේහයේ අභ්‍යන්තර ශබ්ද ශ්‍රවණය කිරීම සඳහා වෛද්‍යවරුන් මෙන්ම පුහුණු උසස් හෙදියන් විසින්ද භාවිත කරන වෙද නලාව මගින් හෘත් ශබ්ද, පෙනහළු ශබ්ද, පමණක් නොව රුධිර නාල තුල ඇති රුධිර ප්‍රවාහ හා බඩවැල් වල ශබ්ද ද ඇසීමෙන් විවිධාකාර  රෝගී තත්ත්වයන් පිළිබඳව නිශ්චයන්ට එලෙඹීමේ හැකියාව පවතිනවා. ස්පිග්නෝමැනෝමීටරය(Sphygnomanometer) හෙවත් රුධිර පීඩන මානය හා එක්ව භාවිත කිරීමෙන් රුධිර පීඩනය මැනීමටත් මෙය උපකාරී වනවා.

scope_anatomy

වෙදනලාවේ ඩයෆ්රම්(Diaphragm) හෙවත් ප්‍රාචීරයෙන් අල්වා ගන්න ශබ්දය PVC වලින් බොහෝවිට සාදා ඇති සම්ප්‍රේෂක නලය (transmitting tube/Tubing) තුලින් ගමන් කර  ලෝහමය ඉයර් ටියුබය (Ear Tube) හා ඉයර් ටිප්ස් (Eartips) හරහා වෛද්‍යවරයාට සමීප වනවා. වෙද නලාවේ රෝගියා මත තබන කොටසේ පැති දෙකක් පවතින අතර එහි විශාල පැත්ත හෙවත් ප්‍රාචීරය මගින් වැඩි සංඛ්‍යාත ශබ්ද තරංග ද, කුඩා පැත්ත හෙවත් බෙල්(Bell) කොටස මගින් අඩු සංඛ්‍යාත ශබ්දද ඇසිය හැකියි. එසේම ප්‍රාචීරය වැඩිහිටි රෝගීන් හා බෙල් කොටස අඩු වයස් රෝගීන් සඳහාද භාවිත වනවා.

හෘදය මත තැබීමෙන් වෙද නලාව මගින් හෘත් ශබ්ද හා රෝගී තත්ත්ව ශ්‍රවනය කල හැකියි. හෘත් කපාට වල තත්ත්වය, හෘත් සිදුරු වැනි තත්වයන් පිළිබඳව නිශ්චයන්ට එලෙඹීමට ඉතාමත් වැදගත් වන වෙද නලාව, ඔබෙ ලය මත තැබීමෙන් පෙනහළුවල තත්වයන්, අභ්‍යන්තර ක්‍රියාවලීන් හා පෙනහළු තුල ඇති අවහිරතා තත්වයන් හඳුනාගත හැකියි. උදරය මත තැබූ වෙද නලාව මගින් බඩවැල් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව නිශ්චයන්ට එලෙඹිය හැකි අතර අධික්‍රියාකාරී(පාචන තත්ත්වයන් හා වෙනත්) හා අවක්‍රියාකාරි(අන්ත්‍ර අවහිරතා හා වෙනත්) තත්වයන් ද හඳුනා ගත හැකි වනවා.

ඉදිරියේදී මෙය පිළිබඳව ඔබට තව දුරටත් තොරතුරු රැගෙන ඒමට මෙඩ්ට්‍රික්ස් හි අපි සූදානම්. එතෙක් රැදී සිටින්න. 🙂

මූලාශ්‍ර

  1. http://www.nlm.nih.gov/medlineplus/ency/article/007535.htm
  2. http://www.littmann.com/wps/portal/3M/en_US/3M-Littmann/stethoscope/littmann-learning-institute/about-stethoscopes/stethoscope-parts/
  3. http://depts.washington.edu/physdx/heart/tech.html
  4. https://www.youtube.com/watch?v=J8E6SrRhBSs
  5. https://www.mystethoscope.com/stethoscope-faq.html

About Jay

A full time medical student and a part time creativist. Interested in medicine, music, astronomy, languages, literature and the list goes on....! * 'Jay' is the writer's sobriquet. The real name and the university of studying is hidden to avoid patient and medical case privacy if needed in future*

Discussion

No comments yet.

Leave a comment

Instagram

No Instagram images were found.