Medical Student Oriented, Patient Oriented

මොනවද මේ කැන්සර් ස්ටේජෙස්? (In sight to Cancer Staging Methods)

“අනේ, අල්ලපු ගෙදර විජේ මහත්තයට පිලිකාවක්ලු. ස්ටේජ් 4 කියල කියල තියෙන්නේ. හොඳ කරන්න අමාරු වෙන පාටයිලු”

“අර දරුවාගේ කැන්සර් එක නම් ස්ටේජ් 1 ලු. හොඳ කරන්න පුළුවන් වෙයි කියල තමයි දොස්තරලා කියල තියෙන්නේ.”

මේ විදිහේ කතා බහ ඔබ සමාජයේ කොතෙකුත් අසා ඇති.  එත් ඔබ දන්නවද මේ ස්ටේජෙස් කියන එකේ තේරුම? බහුතරයකට පැහැදිලි අදහසක් නැති උනත් බොහෝ දෙනා දන්නවා ඉලක්කම වැඩි නම් තත්ත්වය නැත්නම් prognosis එක හොඳ නැහැ කියල.

ඇත්තෙන්ම කිව්වොත් මෙම ස්ටේජස් එහෙම නැත්නම් පිළිකා ශ්‍රේණිගත කිරීම් වර්ග 4ක් තියෙනවා. තනිවම එක තැනක විතරක තියෙන පිළිකා පළමු වෙනි ශ්‍රේණියටත් (Stage 1) බොහෝදුරට සිරුර පුරා පැතිරී , වසා ගැටිති පවා ආක්‍රමනය කර ඇති පිළිකා සිව්වෙනි ශ්‍රේණියටත් ඊට අඩු වැඩි වශයෙන් ඇති තත්ත්ව, දෙවැනි හා තෙවැනි ශ්‍රේණියන්ටත් (Stage 2, Stage 3)අයත් වනවා.

කෙසේ උවත් මෙය වඩා ඉතා විස්තරාත්මකව ඇති TNM පිළිකා නිර්ණායක ක්‍රමයේ කොටසක්. රුධිර හා මොලයේ පිලිකා වලට අදාළ නොවුනත්, අනෙක් සෑම පිලිකාවක්ම පාහේ නිර්ණය කෙරෙනුයේ මෙම ක්‍රමයෙන්.

TNM කියන්නේ මොකක්ද?

TNM යන ඉංග්‍රීසි අකුරු තුනෙන් කියවෙන්නේ Tumor, Node, Metastasis කියන වචන තුන. T වලින් අදහස් වෙන්නේ පිළිකාව කොතරම් විශාලද යන වග, N වලින් එය කෙතරම් වස ගැටිති ආක්‍රමණය කර ඇති බව, M වලින් එය සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියයන්ට කෙතරම් පැතිරී ඇති වගද යන බවයි.

මේවා සියල්ල තත්වයේ දරුණුකම මත ආරෝහණ පිළිවෙලට 1,2,3, සහ බොහෝ විට 4 දක්වා වන පරාසයක පැතිරී තිබෙනවා. ඒ අනුව,

  • T: ප්‍රාථමික පිළිකාවේ ප්‍රමාණය මත
    • Tx: පිළිකාව අධ්‍යයනය කල නොහැකියි
    • Tis: ස්වාස්තිථික පිළිකාව (පිළිකාව එක තැනක පිහිටා තිබේ)
    • T0: පිළිකාවක් දක්නට නොමැත
    • T1, T2, T3, T4: ආරෝහණ අනුපිලිවෙලට විශාලත්වය මත
  • N: ප්‍රාදේශික වසා ගැටිති වලට ඇති පැතිරී යාම මත
    • Nx: වසා ගැටිති අධ්‍යයනය කල නොහැකියි
    • N0: ප්‍රාදේශික වසා ගැටිති වල පිළිකා සෛල නොමැත
    • N1: ආසන්න ප්‍රාදේශික වසා ගැටිති වල පිළිකා සෛල පවතී
    • N2: N1 හා N3 අතර ප්‍රමාණයකට වසා ගැටිති ආක්‍රමණය කර ඇත (N2 සැම විටම භාවිතා නොවේ)
    • N3: දුරස්ථ හා බහුතරයක් වසා ගැටිති පිළිකාව මගින් ආක්‍රමණය කර ඇත. (N3 සැම විටම භාවිතා නොවේ)
  • M: දුරස්ථ අවයව වලට පිළිකාව පැතිරී යාම මත
    • M0: පැතිරී යමක් නැත
    • M1: දුරස්ථ අවයව වලට පිළිකාව පැතිරී ගොස් ඇත. (ප්‍රාදේශික වසා ගැටිති වලට වඩා දුර)

මේ සියල්ල සලකා බැලීම සිදු වන්නේ අවස්ථා දෙකකටයි. ඒ සායනික(clinical), හා ව්‍යාධිවේද(pathological) අවස්ථාව ලෙස. පළමු ශ්‍රේණිගත කිරීම එක්ස් රේ, හා වෙනත් පරික්ෂා කිරිම මගින් ශල්‍යකර්මයට පෙර කරන ශ්‍රේණි ගත කිරීම වන අතර, දෙවැන්න ශල්‍යකර්මයෙන් පසු ව්‍යාධිවේද-විශේෂඥයෙකු(Pathologist) මගින් අන්වීක්ෂයකින් ඉවත්කරන ලද හෝ පටක විශ්ලේෂණයට ලබා ගත පිළිකාව අධ්‍යයනය කර කරන ශ්‍රේණිගත කිරීමයි. ඒ අනුව සමහර විට එකම පිළිකාවට ශ්‍රේණිගත කිරීම් දෙකක් තිබෙන්නටත් පුළුවන්. ඒවා c හා p ලෙස ශ්‍රේණියට පෙර දක්වනවා. උදා – cT1N0M0, pT2N1M0

මෙය සියල්ලෙන් පසුව සමහර විට සියලු සාධක අළලා සමස්ත ශ්‍රේනියක්ද දෙනු ලබනවා. එයයි බොහෝවිට අපි ස්ටේජ් 1,2,3 හා 4 ලෙස දක්වන්නේ.

මේ අනුව ඔබට වැටහෙනවා ඇති මෙම ශ්‍රේණිගත කිරීම් යම් කිසි පටිපාටියකට සිදු වන බව. සමහර පිළිකා, පිළිකා පිලිබඳ ඇමෙරිකානු ඒකාබද්ධ කමිටුව හා ප්‍රසව හා නාරිවේද පිලිබඳ අන්තර්ජාතික සම්මේලනය මගින් ප්‍රකාශයට පත් කරන ශ්‍රේණිගත කිරීම් පිලිබඳ අත්පොත මගින් එකිනෙකාට සුවිශේෂ ක්‍රම වලට ශ්‍රේණිගත උනත්, ඉහත දක්වා ඇත්තේ එහි සරලතම ක්‍රමයයි.

අපේ මෙම ලිපිය ඔබට පැහැදිලි ඇති බව අපි කල්පනා කරනවා. අපැහැදිලි හෝ වැරදි යමක් ඇත්නම් කරුණාකර කොමෙන්ට් කරන්න.

නැවත හමුවෙමු.

මම මෙඩ්ට්‍රික්ස් වෙනුවෙන් ජේ..

 

About Jay

A full time medical student and a part time creativist. Interested in medicine, music, astronomy, languages, literature and the list goes on....! * 'Jay' is the writer's sobriquet. The real name and the university of studying is hidden to avoid patient and medical case privacy if needed in future*

Discussion

No comments yet.

Leave a comment

Instagram

No Instagram images were found.